කොරියාවේ බුද්ධ ධර්මය

රාජධානි තුනෙහි පාලන සමයේ බුද්ධ ධර්මය

පැරණි කොරියාව

අධ්‍යපන කටයුතු සඳහා චීනය කරා ගිය භික්ෂූන් කොරියාව වෙත බුද්ධ දර්ශනය රැගෙන පැමිණියේ රාජධානි තුනේ පාලනය පැවති කාල සීමාව වන විටය.මෙකල භික්ෂුන් වහන්සේලා බොහෝවිට රාජ්‍යන්හි උපදේශක තනතුරු ආදිය හෙබවූ හෙයින් වැඩි කාලයක් නොගොස් බුද්ධ ධර්මයේ බලාධිකාරය රජයන් කෙරෙහි බලපෑ අතර එය නොබෝ කලකින් රාජ්‍ය ආගම බවට පත් විය.අනෙකුත් සංස්කෘතීන් හා සසඳා බැලීමේදී බුද්ධ දර්ශනය කොරියානු සංස්කෘතිය හා ශක්තිමත් ලෙස බද්ධ වීමේ ප්‍රතිපලයක් ලෙස කොරියානු සාහිත්‍ය , ගෘහ නිර්මාණ ශිල්පය,මුර්ති ,මැටි භාණ්ඩ කලාව ආදී සියලුම ක්ෂේස්ත්‍ර කෙරෙහි බුදු දහමේ අභාෂය ලැබී ඇත.
ඉහත සඳහන් රාජධානි තුන වන ඝෝර්යෝ,බක්ජේ ,සිල්ලා යන රාජධානි අතුරන් බුදු දහම ප්‍රථමයෙන්ම ඝෝර්යෝ ප්‍රදේශයේ පැතිර ගිය අතර පසුව ක්‍රිස්තු වර්ෂ 384 දී පමණ බක්ජේ ප්‍රදේශය ආශ්‍රිතවත් අවසාන වශයෙන් ක්‍රිස්තු වර්ෂ 527 – 537 අතර කාල සීමාව තුලදී පමණ සිල්ලා රාජධානියේත් පැතිර ගියබව පෙනී යයි.පළමුව බුද්ධ ධර්මය රැගෙන සුන්දෝ නම් භික්ෂුව ඝෝර්යෝ රාජධානිය කරා පැමිණ ඇත.ඉන් දශකයකට පමණ පසු ඉන්දියනනු භික්ෂුවක් නැගෙනහිර ජින් ජනපදයේ සිට බක්ජේ රාජධානියට බුද්ධ ධර්මය රැගෙන පැමිණියේය. මෙම කාල සීමාව වන විට කොරියානු රාජ්‍යයන් බුදු දහම ප්‍රමුඛ චීනයේ පැවති අනෙකුත් සංස්කෘතිකාංග ආදිය අනුගමනයට විශේෂ පෙළඹීමක් දැක්වීය.(මෙයට හේතුව චීනය ඉතා බලවත් අසල්වැසි රාජ්‍යයක් වීම විය හැකිය )කෙසේ වෙතත් විදේශීය බලපෑම් වලින් ආභාෂය ලද්දේ වුවද බොහෝ දේවල් කෙරෙහි ස්වකිය අනන්‍යතාවයක් එක් කිරීමට පුරාන කොරියානුවන් සමත් වී ඇති බව කිවමනාය.බොහෝ දුරට ආගම,රාජ්‍ය තන්ත්‍රය,අධිකරණය,භාෂාව,ගෘහ නිර්මාණ ශිල්පය,පිගන් මැටි කලාව,මුර්ති ,කාසි ,සම්භාව්‍ය කලාව ආදී බොහෝ ක්ෂේස්ත්‍ර වලට චීන අභාෂය ලැබී ඇත.
කොරියානුවන් චීනයෙන් උරුම වූ චීන මහායාන බුද්ධාගමේ ඇති නොගැලපීම් (හේතු ඵල දහම සහ සතුට සෙවීම යන කරුණු වලින් සමන්විත චීනයේ බුද්ධාගම ප්‍රාථමික ස්වරූපයක් ගත්තේය.)විසඳීමට ගත් ප්‍රයත්නයන්ගේ ප්‍රතිපලයක් ලෙස කොරියානු බුද්ධාගම වෙනත් රටවල බුද්ධාගමට වඩා සාපේක්ෂව වෙනස් විය. මුල් කාලින කොරියානු භික්ෂූන් වහන්සේලා විශ්වාස කළේ චීනයෙන් තමන්ට ලැබුණු සම්ප්‍රදායන් සියල්ලම තමන්ට නොගැලපෙන බවයි. මෙයට පිළියම් යෙදීම සඳහා ඔවුහු බුදු දහම කෙරෙහි නව මුහුණුවරක් හඳුන්වා දුන්හ. මෙම නවමු ප්‍රවේශය සැබැවින්ම බහුතර කොරියානු චින්තකයින්ගේ පිළිගැනීමක් වූ අතර එය වුන්හියෝ (617-686) විසින් ටොංබුල්ජියෝ (“අන්තර් භේද වූ බුදු දහම”) ලෙස පසුකාලීනව හැඳින්වීය.
චීනය සමග පැවති සබදතා තර කර ගැනීම හැරුණුවිට කොරියාවේ බුද්ධ ධර්මය ප්‍රවර්ධනය සඳහා අනුග්‍රහය දැක්වීමට පාලකයක් කෙරෙහි බලපෑ වෙනත් හේතු ද විය.
• බොහෝ භික්ෂුන් රදළ කුල හා පෙළපත් ආදියෙන් පැවත ආ හෙයින් බුද්ධ ධර්මය සමාජ තත්වය පිළිබිඹු කරන සාධකයක් ව පැවති බව පෙනේ.
• සියවස් ගණනාවක් පුරා භික්ෂුන් වහන්සේලා රාජ්‍ය උපදේශකයන් ලෙස සිට ඇත.
• මේ හැරුණු විට කර්මපලය හා පුනර්භවය ආදී බුදු දහමේ එන ඉගැන්වීම් සමාජ ස්ථරීකරණය සාධාරණීකරණය කිරම සඳහා රදලයන් විසින් උපයෝගී කරගන්නා ලදී.(එලෙසම දුප්පත් හා කුල හීන පුද්ගලයන් සඳහා කුසල කාර්ම කිරීම මගින් මතු භවයකදී ඔව්න්ගේ දුක් වේදනා සමනය කරගත හැකි ලෙසට පණිවිඩයක් වක්‍රාකාරයෙන් ලබා දෙන ලදී)
ඝෝර්යෝ හි බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය
372 දී සුන්දෝ (ෂොන්‍ඩෝඕ) නම් භික්ෂුව ,ක්වින්හි ෆු ජියන් (337–385) විසින් ඝෝර්යෝවේ සොසුරිම් රජු වෙත යවන ලදී . ඔහු ප්‍රතිමා (බොහෝ දුරට මධ්‍යම ආසියාවේ එකල ජනප්‍රිය වූ මෛත්‍රි බෝධිසත්වයන්ගේ ගේ විය හැකිය )රැගෙන පැමිණි අතර අතර, ඝෝර්යෝවේ රාජකීයයන් සහ ඔවුන්ගේ යටත්වැසියන් ඔහුගේ ඉගැන්වීම් ඉක්මනින් පිළිගත්තේය. ගොර්යෝවේ බුද්ධ ධර්මය රාජ්‍ය ආගම ලෙස පැවති කාලයේ අනෙකුත් ප්‍රධාන ආගම් වන කොන්ෆියුසියස් ධර්මය,ශාමනවාදය,තාඕවාදය ද සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිතව පැවති අතර වෙසෙසින්ම ශාමනවාදය හා තාඕ වාදය අඩු වරප්‍රසාද ලාභී,පහල පාන්තයන් අතර ජනප්‍රිය ව පැවති නමුත් රාජ්‍ය අනුග්‍රහය ලද බුද්ධ ධර්මය ඉකමවා යාමට අපොහොසත් වියකෙසේ වුවද ඝෝර්යෝ රාජධානය තුල බුද්ධ ධර්මය මුල් බැසගැනීමට එහි මුලික සංකල්ප ශාමනවාදයේ මුලික සංකල්ප සමග යම්තාක් දුරට සමාන වීම ද හේතු විය. තවද ශාමනවාදයේ ඇතැම් වන්දනා ක්‍රම හා විශ්වාස බුද්ධ ධර්මය සමග මිශ්‍ර වී ඇත. පූර්ව-බෞද්ධ යුගයේ මියගිය ආත්මයන් වාසය කරන බව විශ්වාස කළ කඳුකරය බෞද්ධ සිද්ධස්ථාන බවට පත් වීම මෙයට සාක්ෂි දරයි. කොරියානු ශාමනවාදය ය තුළ ආත්මයන් තුනක් විශේෂයෙන් ගෞරවයට පාත්‍ර විය: සැන්ෂින් (කඳුකර ආත්මය), ටොක්සොං (රෙක්ලස්) සහ චිල්සොං (තාරකා හතේ ආත්මය). කොරියානු බුද්ධාගම එම ආත්ම තුන පිළිගත් අතර අද පවා භික්ෂූන් වහන්සේලා බොහෝ දේවාලවල ඔවුන් වෙනුවෙන් විශේෂ සිද්ධස්ථාන වෙන් කළහ.

බෙක්ජේ හි බුද්ධ ධර්මය ව්‍යාප්තිය


384 දී පමණ ගාන්ධාර ප්‍රදේශයේ භික්ෂුවක් වූ මරනන්ත බෙක්ජේ වෙත පැමිණි අතර ඔහු ගෙනා බුදු දහමේ අභාෂය එහි රජ පවුලට ලැබුණි. 526 දී, බෙක්ජේ හි භික්ෂුවක් වන ජියෝමික් මධ්‍යම ඉන්දියාවට ගොස් විනය ග්‍රන්ථ එකතුවක් සමඟ ආපසු පැමිණියේ ඉන්දියානු භික්ෂුක් වන පේදල්ටා සමඟ ය (සංස්කෘත: වෙදත්තා). බෙක්ජේ වෙත ආපසු ගිය පසු ජියෝමික් සංස්කෘත භාෂාවෙන් වූ බෞද්ධ ග්‍රන්ථ වෙළුම් හැත්තෑ දෙකකට පරිවර්තනය කරන ලදී.

ගයා දේශය


ගයා දේශය බක්ජේ හා ෂිල්ලා අතර දකුණු වෙරළ තීරයේ කෙටි කාලයක් තුළ පැවති කුඩා රාජ්‍යකි.හයවන සියවසේ මැද භාගයේදී ගයාව සිල්ලා රාජධානිය විසින් අත්පත් කරගන්නා ලදී

සිල්ලාහි බුද්ධ ධර්මය ව්‍යාප්තිය


සිල්ලාහි මුල් බුද්ධාගම ඝෝර්යෝවේ බලපෑමෙන් වර්ධනය විය. ඝෝර්යෝවේ සිට ඇතැම් භික්ෂූන් වහන්සේලා සිල්ලාවට පැමිණ මිනිසුන් අතර ධර්මදේශනා කරමින් සුළු භික්ෂු කණ්ඩායම් නිර්මාණය කරගත්හ. 551 දී, සිල්ලාවේ ප්‍රථම භික්ෂු නිකාය ප්‍රධානියා ලෙස ඝෝර්යෝවේ භික්ෂුවක් වූ හර්යාං පත් විය. ඔහු මුල් කාලයේදී “සිය ගණනක ආසන ධර්ම සභාව” (“Hundred-Seat Dharma Assembly”) සහ ” තහනම් අෂ්ට ධර්මය” (Dharma of Eight Prohibitions”)යන ආයතන වල මුලසුන දැරීය.
පස්වන සියවසේදී බුද්ධාගම සිල්ලා රාජධානියට ඇතුළු වූ අතර සාමාන්‍ය ජනතාව ආකර්ෂණය කර ගත් නමුත් වංශාධිපතීන් අතර විරෝධය මෙයට එල්ල විය. මුල් කාල සීමාව තුලදී ඝෝර්යෝ හා බක්ජේ ප්‍රදේශ වල බුද්ධ දර්ශනය සාර්ථක ලෙස ව්‍යාප්ත වූ නමුත් මුල් කාලීනව සිල්ලා රාජධානිය එය සම්ප්‍රදායික ආගම් හා අභිචාර විධි සඳහා තර්ජනයක් ලෙස සලකා ඇත.මෙම කාල සීමාව වන විට සිල්ලා රාජධානියේ වංශාධිපති තරුණයින් “ හ්වාරන්” වරුන් ලෙස පුහුණුව ලබමින් බුද්ධ දේශනා වලට පටහැනිව සටන්කාමි ලෙස කටයුතු කිරීමෙන් මෙය තහවරු වේ. කෙසේ වෙතත්, ඉචාඩොන් නම් ප්‍රසිද්ධ උසාවි නිලධාරියා පොෆුං රජුට ඉදිරිපත් වී ඔහු බෞද්ධයෙකු වූ බව ප්‍රකාශ කර ඇත.රජු ඔහුගේ හිස ගසා දැමූ නමුත් අළුගෝසුවා ඔහුගේ හිස කපා දැමූ විට ජනප්‍රවාදයේ සඳහන් ලෙස රුධිරය වෙනුවට කිරි වැගිරී ඇත. (මෙහි සිතුවම් හයින්සා හි දේවමාළිගාවේ ඇති අතර ඔහුගේ දිවි පිදීම ගෞරවයට පාත්‍ර කරමින් ඉදිකරන ලද ගල් ස්මාරකයක් කියොංජු ජාතික කෞතුකාගාරයේ ඇත.)
ඉදිරි පාලන කාලය තුළ චිංහුං රජු බුද්ධාගමේ වර්ධනයට අනුග්‍රහ කළ අතර එය සිල්ලා හි රාජ්‍ය ආගම ලෙස ස්ථාපිත කරන ලදී . ඊට පසුව , තෝරාගත් තරුණයින් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා බෞද්ධ මූලධර්මයන්ට අනුකූලව හ්වාරන් වරුන් ලෙස සටන් කලාවට අමතරව අධ්‍යාත්මික පුහුණුව ලබා ගත්හ. මෙලෙස බුද්ධ ධර්මය ඝෝර්යෝවේ රාජ්‍ය ආගම බවට පත්වූ පසුව රාජධානිය පුරා විහාර ආරම ඉදිවූ අතර එම වෙහෙර විහාර රාජකීය බදු ආදියෙන් නිදහස් කරන ලදී.එසේ ඉදිවූ විහාර ආරම තුල ප්‍රධාන ශාලා එකක්,තුනක් හෝ පහක් ඉදිකර තිබු අතර මේවා බුද්ධ ප්‍රතිමා,සිතුවම්,බෝධිසත්ව සිතුවම් ආදියෙන් සමන්විත විය.බැතිමතුන් මෙම විහාර ආරම වලට පැමිණ සුත්‍ර ගාථා සජ්ජායනා කරමින් සුවඳ දුම්, හඳුන් කූරු දල්වා චෛත්‍ය වටා පැදකුණු කළහ.බුදුන්ගේ උපත ඔව්න්ගේ දින දසුනේ විශේෂිත දිනයක් වූ අතර මෙදිනට බැතිමතුන් පහන් දල්වා විහාරස්ථාන වෙත ගොස් පින්කම් කරමින් නිවෙස් , විදී පහන්කුඩු වලින් අලංකාරවත් කරමින් තැබුහ.
බුදු දහම රාජ්‍ය ආගම ලෙස පිළිගැනීම සඳහා ජජං නමැති භික්ෂුව විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත. වොන්හියෝ සිල්ලා යුගයෙන් බිහි වූ තවත් ශ්‍රේෂ්ඨ භික්ෂුවකි.පසුකාලීනව ජනතාවට වඩා හොඳ සේවයක් කිරීම සඳහා ඔහු තම ආගමික ජීවිතය අත්හැර දමා ගිහි ජිවිතයක් ගත කර ඇත. ඔහු බොහෝ ධර්ම ග්‍රන්ථ රචනා කළ අතර ඔහුගේ දර්ශනය කේන්ද්‍රගත වූයේ සංහිඳියාව මතය. ඔහුගේ සමීපතම මිතුරෙකු වූ උයිසාං සමඟ බුදු දහම හැදෑරීම සඳහා ඔහු චීනය බලා පිටත්ව ගොස් ඇත.(වොන්හ්යෝ පිළබඳ ඉතා රසවත් ජනප්‍රවාදයක් ඇත. වොන්හියෝ එක් රාත්‍රියක දැඩි පිපාසයෙන් අවදි වූ අතර නින්දට යාමට පෙර ඔහු පානය කළ සිසිල් ජලය සහිත බඳුන ඔහුට හමු විය. පසුදා උදෑසන ඔහු පානය කළ ජල බඳුන මිනිස් හිස් කබලක් බව දුටු අතර ඒ අනුව බුද්ධත්වය රඳා පවතින්නේ මනස මත බව ඔහුට වැටහුණි.) එම යුගයේ භික්ෂූන් වහන්සේලා විදේශයන්ගෙන් ධර්ම ග්‍රන්ථ ගණනාවක් ගෙන ආ අතර කොරියාව සහ ජපානය පුරා ධර්මදූත කටයුතු සිදු කළහ. එම කාලය තුළදී බුද්ධාගම විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගත් අතර, බොහෝ රජවරුන් පරිවර්‍තනය වූ අතර බුද්ධ කාලය තුළ නගර/ස්ථාන ප්‍රසිද්ධ ස්ථාන ලෙස නම් කරන ලදී.
රාජධානි තුනේ කාලය අවසන් වන විට කොරියානු භික්ෂූන් විසින් වොනියුන්ග් (චීන භාෂාවෙන් යුවාන්රොන්ග්) පාසල පිහිටුවා ගත්හ.එහි ප්‍රතිපලයක් ලෙස උගත් වංශාධිපතීන් අතර ප්‍රමුඛතම පාසල ලෙස සැලකෙන හුවායාන් ජිං බිහිවිය. (එම පාසල පසුකාලීනව හ්වායොම්/චීන භාෂාවෙන් හුවායාන් ලෙස හැඳින්වීය)

උතුරු -දකුණු ජනපද යුගයේ බුද්ධාගම (668-935)
එක්සත් සිල්ලා යුගය තුළ බුද්ධාගම (668-918)
668 දී සිල්ලා රාජධානිය මුළු කොරියානු අර්ධද්වීපයම එක්සත් කිරීමට සමත් වූ අතර වසර 100 ක පමණ කාලයක් පැවති දේශපාලන ස්ථාවරභාවයක් ඇති කළේය. එය කොරියාවේ බුද්ධාගම පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයේ නැඹුරුවකට තුඩු දුන්නේය. මෙහිදී වඩාත් ජනප්‍රිය අධ්‍යයන ක්ෂේත්‍රයන් ලෙස වොන්යූං, යූසික් (චයි. පාසලේ”) සැලකිය හැකි අතර වොන්හියෝ භික්ෂුව “පිරිසිදු දේශය” (Jeongto /Pure Land) ඉගැන්විය.( එය උගතුන් හා ගිහියන් අතර ඉතා ජනප්‍රිය විය)මෙම අද්‍යනය කොරියාවේ බෞද්ධ චින්තනය කෙරෙහි දීර්ඝකාලීනබලපෑමක් ඇති කළේය. මෙම කෘතිය ඉන්දියානු හා චීන බෞද්ධ දර්ශයන්ගේ එකිනෙකට වෙනස් ලෙස පෙනෙන සාධක විශ්ලේෂණය කිරීමට ගන්නා ලද සාර්ථක ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකිය.තවද බෙයෝප්සොං, හෙයිඩොං ලෙසත් පසුව ජුන්ග්ඩෝ “මැද මාවත” ලෙසත් හැඳින්වෙන කොරියානු බෞද්ධ බෞද්ධ චින්තනයේ ප්‍රමුඛතම පාසලේ වර්‍ධනයට ඔහුගේ කෘති ඉවහල් වූ බව පෙනේ.වොන්හියෝගේ මිත්‍ර උයිසාං නමැති භික්ෂුවද හුවායාන් හි ආරම්භකයන් වන ෂියාන් සහ ෆසාං යටතේ අධ්‍යාපනය ලැබීය. වසර 20 කට පසු ඔහු ආපසු පැමිණි විට, ඔහු ද හ්වායොම්ට දායක වූ අතර, ඔහු වොන්හියෝගේ ටොං බුල්ජියෝ චින්තනය සමඟ කොරියානු බුද්ධාගම කෙරෙහි ප්‍රමුඛ බලපෑම බවට පත් විය. (මෙකී හ්වාඕම් ඉගැන්වීම් කොරියානු භාවනා පාසල වන සියෝන් හි ද ඇතුලත් විය)සමස්ත වශයෙන් ගත් කල සිල්ලා බුද්ධාගමෙන් සහ විශේෂයෙන් දාර්ශනිකයන් දෙදෙනාගෙන් චීන බෞද්ධ ආගමටද බලපෑමක් ඇතිවිය.චීන බෞද්ධ දාර්ශනික ෆසැන්ග්ගේ චින්තනය හැඩ ගැස්වීමේදී වොන්හියෝගේ විවරණයන් ඉතා විශාල භූමිකාවක් ඉටු කල අතර වොන්චියුක් නම් භික්ෂුව ගේ විවරණය ටිබෙට් බුද්ධාගම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේයසිල්ලා යුගය බුදුදහමේ බුද්ධිමය වර්‍ධනයන් ද චිත්‍ර, සාහිත්‍යය, මූර්ති ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු සංස්කෘතික වර්ධනයක් ද ගෙන ආවේය.
කොරියානු බුද්ධාගමේ නව යුගයක් ආරම්භ වූයේ සිල්ලාවේ අග භාගයේ දී කොරියාවේ සියෝන් පාසල් ආරම්භ වීමත් සමඟ ය. චීනයේ, භාවනා පදනම් කරගත් පුහුණුවක් කෙරෙහි වන චාන් සම්ප්‍රදාය හයවන සහ හත්වන සියවස් වලදී ආරම්භ වූ අතර වැඩි කල් යන්නට මත්තෙන් එහි බලපෑම එවකට සියෝන් ලෙස හැඳින්වූ කොරියාවට පැමිණියේය. “භාවනාව” යන්නෙහි අරුත වන මෙම යෙදුම බටහිර රටවල වඩාත් ප්‍රචලිත වූයේ එහි ජපන් ප්‍රභේදය වූ සෙන් ලෙසය. චීන ඩාවොක්සින්ගේ සිසුවෙකු ලෙස සැලකෙන බියොම්නාං සියොන් කොරියාවට රැගෙන් එම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළේය .අටවන සියවසේ අග භාගයේ සිංහහේං සහ නවවන සියවස ආරම්භයේදී ඩෝයි විසින් සියොන් වඩාත් ජනප්‍රිය කරවිය. එතැන් පටන් බොහෝ කොරියානුවන් චීනයේ චාන් සම්ප්‍රදාය ඉගෙන ගත් අතර ආපසු පැමිණි පසු ඔවුන්ගේ ප්‍රධාන ගෝලයන් සමඟ විවිධ කඳු ආශ්‍රමවල තමන්ගේම පාසල් පිහිටුවා ගත්හ. බොහෝ කොරියානු බෞද්ධ භික්ෂූන් වහන්සේලා රාජධානි තුනෙහි අවසාන භාගයේදී බුද්ධ ධර්මය හැදෑරීම සඳහා චීනයට වැඩම කළහ( මූලාශ්‍ර වල භණ්යා නම් භික්ෂුව ටියාන්ටයි ශාස්ත්‍රපති ෂි යටතේ බුදු දහම අධ්‍යයනය කළ බවත්, බෙක්ජේ හි ගයෝමික් භික්ෂුව සංස්කෘත භාෂාව ඉගෙන ගැනීමට සහ විනය ඉගෙනීම සඳහා ඉන්දියාවට ගිය බවත් සඳහන් වේ.)

බල්හේ රාජධානියේ බුදු දහම


ගොගුර්යෝව බිඳවැටීමෙන් පසු පිහිටුවන ලද උතුරු කොරියානු බල්හේ රාජ්යයේ ද බුද්ධාගම ව්යාප්තව පැවති බවට සාධක රාශියක් ඇත. බල්හේ ජන ජීවිතය තුළ බුදු දහම විශාල කාර්යභාරයක් ඉටු කළ බව අඟවන බුද්ධ ප්රතිමා සහ ගල් පහන් වැනි බෞද්ධ කෞතුක භාණ්ඩ සමඟ පන්සල් දහයක පමණ නටබුන් බල්හේ හි අගනුවර ලෙස පැවති සාංජියොං ප්රදේශයෙන් හමුවී ඇත. බල්හේහි අවමංගල්ය චාරිත්ර කෙරෙහි බුදු දහම දැඩි බලපෑමක් කළ බව පෙන්වන නටබුන් පවා දකුණු හැම්ගියොං ප්රදේශයෙන් හමුවී ඇත.බල්හේ රාජ්යයේ බිඳවැටීමෙන් පසු, එහි විසු භික්ෂූන් වහන්සේලා හැට නමක් අලුතින් පිහිටුවන ලද ගොර්යෝ රාජධානියට (918-1392) පලා ගියහ.

ගොර්යෝ යුගයේ බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස (918-1392)


ඉහත සඳහන් පරිදි ස්ථාපිත කඳු නමයේ ධර්ම පාසල්, නව සියෝන් පාසල් සැලකුවේ රැඩිකල් මතධාරී ලෙස ය. මේ අනුව, විවිධ “කඳු නවයේ” ආරාම වල මුල් ආරම්භකයින්ට සැලකිය යුතු ප්‍රතිරෝධයක් එල්ල විය. ජියෝ පාසල්ද මර්දනය කරන ලදී. ගොර්යෝ යුගයේ වැඩි කාලයක් මෙම අරගල අඛණ්ඩව පැවති ඇත.ගොර්යෝ යුගයේ රාජවංශයේ අවසානය වන විටත් වැඩි කාලයක් හා අරගල අඛණ්ඩව පැවති සියළුම පාසල් ගැන ඉතිහාස වාර්තාවල සඳහන් වුවද, රජය සහ සමාජය කෙරෙහි එහි බලපෑම සහ කැපී පෙනෙන විද්වතුන් හා ප්‍රවීණයින් බිහි කිරීම සඳහා සියොන් ප්‍රමුඛ විය. ගොර්යෝ යුගයේ දී, පාලකයන් සමඟ සම්බන්ධතා තුළින් සහයෝගය සහ වරප්‍රසාද ලබා ගනිමින් සියොන් “රාජ්‍ය ආගමක්” බවට පත් විය. බොහෝ විට ජිනුල්ගේ උත්සාහය හේතුවෙන් පසුකාලීන සියොන් පාසල් වල අනුගමනය කරන ලද ස්ථාවරය, සියෝන් භාවනා ක්‍රම වල ඇතැම් ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ නමුත්, සියොන් සහ ජියෝ දෘෂ්ඨිකෝණයන්ගේ සමානකම් පිළිගන්නා ලදී.සියොන් කාල පරිච්ඡේදය තුළ අනෙකුත් බොහෝ ශාස්ත්‍රීය පාසල් ක්‍රියාකාරීත්වයෙන් හා බලපෑමෙන් හීන වී ගියද හ්වාඔම් පාසල ගොර්යෝ යුගය දක්වා අඛණ්ඩව පැවතෙමින් උයිසාං සහ වොන්හියෝගේ උරුමය පවත්වාගෙන යන ලදී. සියෝන්/ජියෝ සමගියේ තවත් වැදගත් උපදේශකයෙකු ලෙස උචියෝන් කැපී පෙනේ. අනෙකුත් බොහෝ මුල් ගෝර්යෝ භික්ෂූන් මෙන්ම ඔහු ද බුද්ධාගම පිළිබඳ අධ්‍යයනය ආරම්භ කළේ හ්වායොම් සමඟ ය. පසුව ඔහු චීනයේ සංචාරය කළ අතර, ආපසු පැමිණි පසු, චියෝන්ටේ (චීන භාෂාවෙන් ටියන්ටායි) ඉගැන්වීම ආරම්භ කළ අතර එය තවත් සියෝන් පාසලක් ලෙස පිළිගැනීමට ලක්විය. ඉතිහාසඥයින් එම කාලය විස්තර කරන්නේ “මූලධර්ම පහක් සහ භාවනා පාසල් දෙකක්” (ඔගියෝ යැංජොං) ලෙස ය. ඛේදජනක ලෙස, යූචියෝන් සියොන් අනුගාමිකයින් සියෝන්-ජියෝ සමඟිය නිර්මාණය වීමට ප්‍රථම අඩු වයසින් මිය ගියහ.ජිනූල් (1158-1210) ගොර්යෝවේ සියොන්හි වැදගත්ම චරිතය ලෙස පිළිගැනීමක් ලබා ඇත. ඔහුගේ කාලය තුළ සංඝයා බාහිර පෙනුම සහ ධර්මයේ අභ්‍යන්තර ගැටලු පිළිබඳ අර්බුදයකට ඇද වැටී සිටියහ. ලෞකික සාර්ථකත්වය ,සහ චාරිත්‍ර ,පූජා විධි වැනි ලෞකික නැඹුරුවාවන් සහ මැදිහත්වීම් තුළින් බුදු දහම ක්‍රමයෙන් දුෂිත වෙමින් තිබුණි.ඒ හේතුවෙන් ගැටළු සහිත භික්ෂු භික්ෂුණීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි විය.
ජිනූල් කොරියානු සියෝන් තුළ ගැඹුරු පිරිසිදු මනසක් ඇති විනයගරුක නව ප්‍රජාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් නව සංවිධානයක් ස්ථාපිත කිරීමට උත්සාහ කළ අතර, එය “සමාධි සහ ප්‍රජා සමාජය” ලෙස හඳුන්වනු ලැබිය. ඔහු අවසානයේ එම අරමුණ ඉටු කරනු ලැබුවේ ජෝග්යි කන්දෙහි සියොන්ග්වාන්ග්සා ආරාමය ආරම්භ කිරීමෙනි. ජියූල්ගේ කෘති සියෝන් අධ්‍යයනයේ හා භාවිතයේ ක්‍රමවේදයන් හොඳින් විශ්ලේෂණය කර නව ප්‍රවේශයකින් ලියවී ඇත. චීන චාන් සම්ප්‍රදායේ දිගු කලක් පැවති එක් ප්‍රධාන ගැටලුවක් කෙරෙහි ජිනූල් විශේෂ අවධානයක් යොමු කළේය.එනම් ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී “ක්‍රමයෙන්” සහ “හදිසි” ක්‍රම අතර සම්බන්ධයයි (relationship between “gradual” and “sudden” methods) එම මාතෘකාව සම්බන්ධයෙන් විවිධ චීන ක්‍රම උපුටා දක්වමින්, සොන්ග්මි (780-841) ,දහුයි (1089-1163) හා ජිනූල් විසින් “ක්‍ෂණිකව බුද්ධිමත් වීමක් හා ක්‍රම ක්‍රමයෙන් පුහුණුව ලබා දීම” යන නියෝගය නිර්‍මාණය කරනු ලැබිය. ජිනුල් ද ගන්හ්වා ක්‍රමය තම භාවිතයට ඇතුළත් කළේය. අද කොරියානු සියොන්හි උගන්වන ප්‍රධාන ක්‍රමය වන්නේ එම භාවනා ක්‍රමයයි. සියොන්-ජියෝ ගැටුම පිළිබඳ ජිනුල්ගේ දාර්ශනික විසඳුම කොරියානු බුද්ධාගම කෙරෙහි ගැඹුරු හා දිගුකාලින බලපෑමක් ඇති කළේය.ගොර්යෝවේ අවසාන භාගයේ බුද්ධ ධර්මය දූෂණය සහ බෞද්ධ විරෝධී දේශපාලන හා දාර්ශනික හැඟීම් ශක්තිමත් වීම හේතුවෙන් පහත වැටුණි. කෙසේ වෙතත් කොරියාවේ වඩාත් ප්‍රසිද්ධ සියෝන් භික්ෂුන් මෙකි කාලය තුල බිහි ව ඇත. එනම් එම කාල පරිච්ඡේදයේ වැදගත් භික්ෂූන් වහන්සේලා තිදෙනෙක්, සමකාලීනයන් සහ මිතුරන්, කොරියානු සියොන් හි අනාගත ගමන් මග සටහන් කර ගැනීමේදී කැපී පෙනුණි: ජියොන්ගන් (1298-1374), තේගෝ බෝ (1301-1382) සහ නාඕං හයිගියුන් (1320-1376). ජිනුල් විසින් ප්‍රචලිත කළ ලින්ජි (Korean හෝ කොරියානු භාෂාවෙන් ඉම්ජේ) ග්වාන්වා ඉගැන්වීම ඉගෙන ගැනීමට තිදෙනාම යුවාන් චීනයට ගියහ. තිදෙනාම ආපසු පැමිණි පසුව ඉම්ජේ පාසලේ තියුණු, ගැටුම්කාරී ක්‍රම තමන් විසින් උගත් ඉගැන්වීම් තුළින් තහවුරු කර ගත්හ. ඉම්ජේ බලපෑම තිබියදීත්, ජිනුල්ගේ බලපෑම සහ සාම්ප්‍රදායික ටොන් බුල්ජියෝ නැඹුරුව හේතුවෙන් ජියොන්ගන් සහ නාඕං ශුද්ධ ලියවිලි අධ්‍යයනය කෙරෙහි අසාමාන්‍ය උනන්දුවක් දැක්වූ අතර කොන්ෆියුෂියානුවාදය සහ තාඕවාදය පිළිබඳ දැඩි අවබෝධයක් පෙන්නුම් කළහ. එතැන් පටන් කොරියානු බෞද්ධ භික්ෂූන් වහන්සේලා “ඉගැන්වීම් තුනක්” ඉගැන්වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබුණි.ත්‍රිපිටකයේ මුල්ම සංස්කරණය ත්‍රිපිටක කොරියානා නමින් නිෂ්පාදනය කිරීම ගොර්යෝ යුගයේ සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් ලෙස කැපී පෙනේ. භික්ෂූන් විසින් සංස්කරණ දෙකක් නිර්මාණය කරන ලද අතර, පළමුවැන්න 1210 සිට 1231 දක්වාත්, දෙවැන්න 1214 සිට 1259 දක්වාත් අවසන් විය. 1232 දී මොංගෝලියානු ආක්‍රමණිකයින් විසින් සිදු කරන ලද ප්‍රහාරයකදී ගින්නෙන් පළමු සංස්කරණය විනාශ වූ නමුත් දෙවන සංස්කරණය තවමත් ග්යොංසාං පළාතේ හයින්සා හි පවතී. එම උසස් ත්‍රිපිටක සංස්කරණය වසර 700 කට ආසන්න කාලයක් නැගෙනහිර ආසියාවේ ත්‍රිපිටකයේ සම්මත අනුවාදය ලෙස භාවිතා කර ඇත.

ජෝසෝන් රාජවංශ සමයේ බුද්ධ ධර්මයේ සිදුවූ මර්දනය


1388 දී යී සියොංජි (1380-1400) නම් බලගතු ජෙනරාල්වරයෙක් කුමන්ත්‍රණයක් සිදු කළ අතර, 1392 දී මෙම නව-කොන්ෆියුෂියානු ව්‍යාපාරයේ සහයෝගය ඇතිව 1392 දී තේජෝගේ පාලන නාමය යටතේ ජොසොන් රාජවංශයේ පළමු පාලකයා ලෙස ඔහු ස්ථාපිත විය. ඉන්පසුව, රජය ඉදිරි වසර 500 තුළදී ක්‍රමාණුකූලව බුදු දහම මර්දනය කළ අතර, පන්සල් සංඛ්‍යාව අඩු කරමින් සංඝ සමාජයේ සාමාජිකත්වය සීමා කළේය.ඝෝර්යෝ යුගයේ දී රාජ්‍ය මතවාදය ලෙස සහයෝගය ලැබුව වසර සිය ගණනක් පැවති ජොසොන් රාජවංශය තුළ කොරියාවේ බුද්ධාගම දැඩි මර්දනයකට ලක් විය. මෙම කාලය තුළ නව-කොන්ෆියුෂියානු මතවාදය බුදු දහමේ පෙර පැවති ආධිපත්‍යය අභිබවා ගියේය.(ජෝසෝන් රාජවංශයේ ආරම්භකයා කොන්ෆියුශියස් ව්‍යාපාරයේ සහය ඇතිව පාලනයට පැමිණීම මෙයට හේතු වූ බව සිතිය හැකිය. දහසය වන සියවස අවසානයේදී ජපන් ආක්‍රමණය පලවා හැරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා උදව් කිරීමෙන් පසුව මෙම තත්වය තරමක් දුරට පාලනය වී ඇත.
මෙම මර්දනකාරී කාල සීමාව තුලදී ,
• භික්ෂුන් වහන්සේලාට හා හික්ෂුනින්ට නගර වලට ඇතුළු වීම තහනම් කෙරිණි.( බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන්ව කඳුකරයට පන්නා දමා සමාජය සමඟ මිශ්‍ර වීම තහනම් කළේය.) මෙම පිටුවහල් කිරීම බුදු දහම කෙරෙහි හිතකර බලපෑමක් ද ඇති කර තිබේ එනම් : සියොන් පන්සල් වාර්ගික වර්‍ධනය සඳහා මධ්‍යස්ථාන බවට පත් වූ අතර,බොහෝසෙයින් වංශවතුන්ට සීමාවී තිබු බුද්ධාගම සාමාන්‍ය ජනතාව සමඟ දැඩි බැඳීම් ඇති කර ගැනීමට මෙය පිටුවහලක් විය.
• පිණ්ඩපාතයේ යාම තහනම් කෙරිණි.
• භික්ෂුන්ට වයස් සිමා පැනවිණි.
• එම චාරිත්‍ර අනුව අවම්න්ගල්ය ආදිය සිදුකිරීම් තරනම් කෙරිණ.
රජයෙන් එම දැඩි මර්දනය සහ කොරියානු නව කොන්ෆියුෂියානුවාදයේ දැඩි මතවාදී විරෝධය නොතකා සියෝන් බුද්ධාගම බුද්ධිමය වශයෙන් අඛණ්ඩව වර්ධනය විය.

ජපන් මැදිහත්වීම් සමයේ කොරියානු බුද්ධ ධර්මය (1910-1945)


ක්‍රිස්තුවර්ෂ 1910 සිට කොරියාවෙහි ජපාන ආධිපත්‍ය ව්‍යාප්ත වීම ඇරඹිණි.ජපන් ජාතිකයින් විසින් දැඩි රෙගුලාසි මාලාවකට යටත් කිරීම නිසා සමස්ත කොරියානු ජනතාව සහ විශේෂයෙන් කොරියානු සංඝයා දැඩි පීඩාවකට ලක්විය. ජපන් බෞද්ධයෝ භික්ෂු භික්ෂුණීන් නගරයට ඇතුළුවීම සඳහා වසර 500 ක තහනම ඉවත් කරමින් නගර තුළ ආගම මාරු කිරීමේ අයිතිය ඉල්ලා සිටියහ. Won Buddhism වැනි නව බෞද්ධ නිකායවල් ගොඩනැගීම සහ මෙම කාලය තුළ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ නැගීසිටීම සාම්ප්‍රදායික කොරියානු බුද්ධාගම විනාශ මුඛයට ගෙන යාමට හේතු විය. සාම්ප්‍රදායිකව අවිවාහකව ජීවත් වූ කොරියානු බෞද්ධ භික්ෂු භික්ෂුණීන්ගේ ජීවන රටාවට ,බෞද්ධ පූජකයන්ට විවාහ වීමට අවසර දීමේ ජපන් බෞද්ධ චාරිත්‍රය පටහැනි විය.මෙකල බොහෝ කොරියානු කළා නිර්මාණ ජපානය කරා ගෙන ගොස් ඇත.( කොරියානු බෞද්ධ කලා කෘති නැවත ගෙන්වා ගැනීම සඳහා වූ සාකච්ඡා තවමත් පැවැත්වෙමින් පවතී.)

බුද්ධාගම සහ බටහිරකරණය (1945 සිට වර්තමානය දක්වා)


කොරියාව ජපානයෙන් නිදහස් වන විට බුදු දහම විවිධ නිකායන් රැසකට බෙදී වෙන්ව ගොස් තිබිණි.(ජෝගි හා ටයිකෝ ප්‍රධාන නිකායන් දෙක වූ අතර මෙයින්ද ජෝගි නිකායට අයත් අනුගාමිකයන් ප්‍රමාණය විශාල විය)මේ කාලය වන විට බුදු දහමට ක්‍රිස්තියානින් ගෙන් තර්ජන ඇති විය.1950 දශකයේ පටන් සින්ග්මන් රී ඇතුළු පිරිස මෙරට බෞද්ධ සංඝරත්නය බෙදීමට හා දුර්වල කිරීමට කටයුතු කළහ. 1954 දී ඊනියා “ජපානීකරණය වූ බෞද්ධයින්ට” එරෙහිව ඔහු උද්ඝෝෂනය කළේය.මේ කාලය වන විට විවාහක සහ අවිවාහක භික්ෂූන් අතර සැලකිය යුතු විරසකයක් ඇති විය. මෙම විරසක වීම කෙතරම් උත්සන්න වූවාද යත් පන්සල් පාලනය කිරීම සඳහා නිතර නිතර සටන් ඇති විය. බෞද්ධ කෝලාහල දිගටම පැවතුන විට බුද්ධාගමේ බලය කොරියාව තුල හීන වී යද්දී එම දුර්වලතා ප්‍රයෝජනයට ගත් ක්‍රිස්තියානි මිෂනාරිවරුන් ක්‍රමයෙන් ශක්තිමත් විය. සර්ව ජාතික බෞද්ධ සංවිධානයක්( පෑන් ජාතික බව්ද්ධ සංවිධානය ) ගොඩ නැගීමෙන් ආරවුල සමථයකට පත් කර ගැනීමට ජනාධිපති පාක් චුන්ග් හී ඔහුගේ පාලන කාලය තුළ (1961-1979) අසාර්ථක උත්සාහයක් දැරීය. නමුත් මෙම දශකය තුල කොරියානු බුදු දහම තුල යම්තාක් දුරක වර්ධනයක් සිදු වූ බව කිවමනාය.(ස්වාධින ගිහි සංගම් පිහිටුවීම,ධර්ම ප්‍රචාරය,භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම,,රජය විසින් පන්සල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරමුදල් ලබා දීම)1970 වන විට ජෝගි හා ටයිගෝ නිකාය අතර ඇති වූ අසමගිය නිසා ටයිගෝ භික්ෂු නිකාය රතු පැහැති වස්ත්‍රයෙන් සැරසුණු අතර ජෝගි භික්ෂුන් දුඹුරු පැහැති කසාය වස්ත්‍රයට මාරු විය.1980 ගණන් වලදී බුදු දහමට නැවතත් රජයෙන් හා ක්‍රිස්තියානින් ගෙන් හානි සිදුවීම ඇරඹිණි.ජනාධිපති චුන් දූ හ්වාන් බුදු දහමට පහර දීම සඳහා දේශපාලනය සහ කුමන්ත්‍රණ භාවිතා කළේය. ඔහු පන්සල් වැටලීමට හමුදාව යැවූ අතර සිය ගණනක් භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවනු ලැබීය. 1990 ගණන් වලදී දකුණු කොරියානු රජය, බෞද්ධ නායකයින් සහ ක්‍රිස්තියානි නිකායන් අතර ගැටුම් පැවතුනි. රජය බෞද්ධ භික්ෂූන් වහන්සේලා දුරාචාරයේ යෙදුන බවට චෝදනා කළ අතර සමහර ක්‍රිස්තියානුවන් තම ධර්මදූත කටයුතු ඉදිරියට ගෙන යමින් සිය ආගමට අනුගාමිකයන් බඳවා ගැනීමට එය භාවතා කළේය.

වත්මන් තත්වය


අද්‍යතන කොරියානු බුද්ධාගම බොහෝ දුරට සමන්විත වන්නේ සියොන් පරම්පරාවෙන් ය. මෙම සියොන් සම්ප්‍රදාය චීන චාන් ඉගැන්වීම් ජපන් සෙන් සම්ප්‍රදාය ) සමග බොහෝසෙයින් සබදතා පෙන්වයි. ජොසොන් කාලය අවසන් වන තුරුම කොරියාවේ බුද්ධාගම යටපත් වී පැවති අතර. දෙවන ලෝක යුද්ධයෙන් පසුව, කොරියානු බුද්ධාගම ලෙස සියෝන් සම්ප්‍රදාය නැවත වරක් පිළිගැනීමට ලක්විය. කොරියාවේ ක්‍රිස්තියානි ආගමේ බලපෑම වැඩිවීමත් සමඟම, දකුණු කොරියාවේ බෞද්ධ ප්‍රජාව අතර ආගමික ජනගහනය බොහෝ දුරට අඩු වී ඇත. අදේවවාදී උතුරු කොරියාවේ බෞද්ධයින් ප්‍රමාණයද මේ වන විට අඩුවී යමින් පවතී.


මොනාලි දිව්‍යාන්ජලි බණ්ඩාර

Visits3080
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!