තාඕ දහම හා එහි භාවිත

තාඕ යනු ” මාර්ගය”යන අදහස සඳහා වන චීන වචනය නමුත් එය දාර්ශනික භාවිතයක් ලෙසද සැලකිය හැකිය.තාඕ වාදය මුල් කාලයේදී දර්ශනයක් ලෙස පැවතුණු අතර එම දර්ශනය විවිධ පුද්ගලයන් අනුගමනය කරමින් අනාදිමත් කාලයක සිට පැවත ආ පුද පූජා හා අභිචාර විධි එයට එක් කරමින් කාලානුරූපව ආගමක ස්වරූපයක් ගෙන ඇත.තාඕ දහම මෙයට වසර 2500 කට අධික අතීතයේ දිවි ගෙවූ චීන කහ අධිරාජ්‍යයාගේ නිලධාරියකු වූ lao tzu (ලා ඔට්සු)නම් දාර්ශනිකයාගේ මූලිකත්වයෙන් බිහි වී ඇත.කෙසේ වුවද පසුකාලීනව හෙතෙම රාජ්‍ය පාලනය හා සමාජ ක්‍රමය පිලිබඳ ඇතිවූ කලකිරීම හේතුවෙන් මාලිගය හැරගිය බව සිතිය හැකි අතර එසේ හැරයන අවස්ථාවේ බටහිර දොරටුව පාලනය කල දොරටු පාලකයන් විසින් පිටවීමට හේතුව විමසූ විට එයට පිළිතුරු වශයෙන් චීන අකුරු පන්දහසක් හා පරිච්ඡේද අටකින් සමන්විත Tao the ching නම් මහාර්ඝ කෘතිය රචනා වූ බව සඳහන් වේ.එදා සිට අද දක්වා ප්‍රායෝගික ජීවන දෘෂ්ටීන් රැගත් අනභිභවනීය කෘතියක් ලෙස මෙය නොයෙක් දෙනාගේ පැසසුමට ලක්වී ඇත.

තාඕවාදයට පදනම් වී ඇත්තේ සියලුම ද්‍රව්‍යමය දේ හා ලෝකයේ සිදුවන සියලුම වෙන්ස්වීම් පිටුපස ඇත්තේ එක් විශ්වීය මූලධර්මයක් මතය යන විශ්වාසයයි.මෙහිදී ප්‍රධාන මූලධර්ම කිහිපයකි.(ලෝහ,දැව,ගින්න,ජලය,පොලොව)මෙම මූල සියලුම පැවැත්මට හේතු වන අතර සෑම දෙයක්ම පාලනය කරයි.එනිසා මිනිසා ගේ පරමාර්ථය විය යුත්තේ තාඕව අනුව ජීවිතය හැඩගස්වා ගැනීමයි.
තාඕ දහම හා ඒහා සබැඳි මූලික විශ්වාස කිහිපයකි.

සදාකාලිකත්වය – නිර්මාණය වූ ඕනෑම දෙයක යථාර්ථය අවසානය වන බවයි

සදාචාරාත්මක බුද්ධිය – සරල දේ ප්‍රකාශ කරන්න,ප්‍රාථමිකත්වය එනම් මූලික ස්වභාවය වැළඳ ගන්න යන්නයි.

මිනිසුන් හා සොබාදහම අතර ඇති සමගිය – තාඕ යනු ඕනෑම දෙයක මුල් ස්වභාවය සමඟ අනුකූල වීමයි.තාඕව වටහා ගන්නා අයෙකු සොබාදහමේ නිරන්තර වෙනස් වීම් වටහා ගන්නා අතර ජීවිතයේ හෝ මරණයේ රිද්මයට බිය නොවේ යන්නයි .

අමරණීයභාවය – එනම් ආහාර පාලන ක්‍රම,හුස්ම පාලන ක්‍රම,භාවනා ක්‍රම,ලිංගික විනය,ජීව ශක්තිය හා දීර්ඝායුෂ ලබා ගැනීම පිළිබඳවය.


යින් යෑන් සංකල්පය


යින් යෑන් සංකල්පය තාඕ දහම පුරා ගැඹුරු ලෙස විහිදී ඇත.ජීවීතයේ රිද්මය යින් යෑන් යන අනුපූරක මූලධර්ම වල ක්‍රියාකාරිත්ව සිදුවේ.අඳුරු යින් හා සැහැල්ලු යෑන් සමමිතිකව හා චක්‍රීයව ක්‍රියා කරයි.මෙම බලවේග දෙක එකිනෙකා වැළඳගත් විට එය කළු හෝ සුදු ලෙස බෙදිය හැකි නොවේ.කළු පැහැය තුළ සුදු පැහැයත් සුදු පැහැය තුළ කළු පැහැයත් අඩංගු වේ.එනම් එකිනෙකාගෙන් තොර පැවැත්මක් එකිනෙකාට නොමැති බවය.මෙම සංකල්පය ලෝකයේ ද මිනිසා තුලද සාමය හා සංසිඳීම ඇති වන ආකාරය විස්තර කිරීමටද යොදාගත හැකිය.


Yin – රාත්‍රිය ,කරුවල /වැස්ස,වතුර ,සීතල /සඳ/ මෘදු බව
Yan- දහවල්,එළිය/ගින්දර,උණුසුම/හිරු/ රළු බව


තාඕව යනු,

Tao the ching හි පලමුවන පරිච්ඡේදයේ මෙලෙස සඳහන් වේ.
“තාඕව යනු තාඕව තාඕ නොවන බවය.එනම් එය,දෙව්ලොව හා පොළොවෙන් ආරම්භ වී ඇත.දසදහසක් වස්තූන් ගේ මාතෘත්වය දරයි එනිසා,ආශාවෙන් හිස්ව ඇත,අභිරහස තේරුම් ගන්න ආශාවෙන් පිරී ඇත, ප්‍රකාශනයන් තේරුම් ගන්න.තවද මේවාට එකම ප්‍රභවයක් ඇත.නමුත් හඳුන්වන්නේ වෙනස් නම් වලිනි.මේ සියල්ල ගැඹුරටම ආමන්ත්‍රණය කරන්න.මෙය සියලුම අභිරහස් සඳහා දොරටුව වේ.”
වචන යනු හුදෙක් යමක් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා මාධ්‍යක් වන අතර තාඕ දහම වචන වලට ග්‍රහණය කල නොහැකි බව මෙහි යටි පෙළ අරුත වේ.
එය ( තාඕව) මෙලොව ඇති සියල්ල පිටුපස ඇති නමුත් එය අවිනිශ්චිතය.අප එයට නම් තැබීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම කරන්නේ එයින් පැන නගින සංසිද්ධි නම් කිරීම පමණකි.එනිසා සැබැවින්ම තාඕව අභිරහසකි.තවද තාඕව යනු හිස් බවයි.එහි භාවිතයන් කිසිදු විටෙක අවසාන වී නැත,අවසාන වන්නේද නැත.එය තියුණු දාර බොඳ කරයි,ගැට ලිහිල් කරයි,දීප්තිය මෘදු කරයි ,දූවිලි සහිත ලෝකය සමඟ එක් වේ.එනම් අප ඉගෙන ගන්නා සෑම දෙයකම තාඕව අන්තර්ගත වන අතර එය අපගේ ජීවිතය හා බැඳී පවතියි.තවද එයට තමාගේම සම්භවයක් නොමැති අතර එය තමන්ගෙන් අන්න්‍ය වූ පැවැත්මක් දරයි.


තාඕව යන්න විස්තර කරන සරල ප්‍රකාශනයක් පහත දැක්වේ.
“තාඕ ව යනු කුමක්ද ? තාඕව යනු සියල්ලයි
සියල්ල යනු කුමක්ද ? කිසිවක් නොවේ යන්නයි
කිසිවක් නොවේ යනු කුමක්ද ?
එනම් එය තාඕවයි “


තාඕව අනුගමනය කල හැකි ක්‍රම තුනක් ඇත.
“තාඕ යන්නෙහි අර්ථය පිළිබඳ අවධානය යොමු නොකරන්න.”
“තාඕවාදය යනු කුමක්ද යන්න වටහා ගන්න “
“ඕනෑම දෙයක් එහි නියම ස්වභාවයෙන්ම පිළිගන්න( මෙය අභ්‍යන්තර සාමයට මඟ පාදයි) එනිසා ජීවිතයේ ප්‍රතිරෝධතා විසඳීමට උත්සාහ නොකරන්න.එහි නියම ස්වභාවය පිළිගැනීමට දක්ෂ වන්න.


වූ වෙයි බලය

තාඕව දර්ශනයක් ලෙස ගත්කල ” වූ වෙයි” යන්න එහි කේන්ද්‍රීය සංකල්පයක් ලෙස සැලකිය හැකිය.එනම් “ක්‍රියා රහිත බව”හා “ක්‍රියාකාරීත්වයයි”මෙය සෑම විටම යටි පෙළ අරුත් සහිතය.
” දුබලයන් ප්‍රබලයන් බවට පත්වේ,හිස්වූ කුහර පිරී යයි,අබලන් වූ දෙය අලුත් වේ,අඩු දෙය වැඩි දෙය බවට පත් වේ.බොහෝ දේ මායාවක් බවට පත් වේ,එමනිසා බුද්ධිමත් පුද්ගලයා එක් දෙයක එල්ලී සිටීමෙන් වලකී(ඕනෑම දෙයක් ඕනෑම මොහොතක විය හැකිය )එනිසා ස්වර්ගයට යටින් කිසිවෙකුත් නැත.එනිසා ඔවුන් සමඟ සටන් කිරීමට ඔබට හැකියාව ඇත.”
” ක්‍රියා රහිත බව”යන්නෙන් වූ වෙයි තේරුම් ගැනීමට උත්සාහ කරමු.සම්මත ආකාරයට සටනක් සිදු කිරීමට කොපමණ දෙනෙක් අවශ්‍ය ද?දෙදෙනෙක් අවශ්‍ය ය.එවිට? සටන් වලට සහභාගි නොවන්නේ නම් මේ කිසිවක් අවශ්‍ය නැත.එය තාඕ ව අනුගමනය කරන බුද්ධිමතාගේ ලක්ෂණය කි.
” තාඕව නමක් නොමැතිව පැවතියද ,තවමත් කිසිවක් අහෝසි වී නැත.රජවරුන්ට හෝ අධිපතින්ට එය අයිති කරගැනීමට හැකි නම් නිසැකවම සියලුම සත්වයන් තමාට අවශ්‍ය ආකාරයට හැඩගස්වා ගන්නවා ඇත.එනමුත්,නමක් නැති නිහඬ බවක් සමඟ මම ඔවුන්ව නිහඬ කරවමි.එවිට එහි ආශාවක් නැත.ආශාවන් නොමැති බව සන්සුන් බවට හේතු වේ.එවිට මුළු ලෝකයම තමා විසින්ම සංසිඳීම තහවුරු කරගනී”
තවත් උපුටනයක් පහත සඳහන් පරිදි වේ.
” දැනුම ලුහුබඳින්න , දිනපතා ලබාගන්න,තාඕව ලුහුබඳින්න , දිනපතා අහිමි වන්න,කිසිවක් නොකරන අවස්ථාවට එළඹෙන්න,කිසිවක් නොකරන හා කිසිවක් නොකළ අවස්ථාවට පැමිණෙන්න,එවිට මුළු ලෝකයම ඔබට කිසිවක් ( සැලකිය යුතු යමක් )නොවනු ඇත.අවම වශයෙන් මේ සඳහා උත්සාහ කරන්න.එවිට ලෝකය ඔබෙන් ගිලිහී යනු ඇත.”
මේ පිළිබඳ උදාහරණයක් විමසා බලමු.පුළුල් ගංගාවක් ඇත.ඒ අසල තාඕ වාදියෙක් හා කොන්ෆිසුසියස් ශිශ්‍යයෙක් එගොඩ වීමේ අදහසින් බලා සිටියි.එම කොන්ෆිසුසියස් සිසුවා ගණිතය පිළිබඳ විශාරදයකු වන අතර හෙතෙම ජ්‍යාමිතියේදී උගත් ප්‍රමේයන් සිහිපත් කරමින් ” ලක්ශ්‍ය දෙකක් අතරකෙටිම දුර සරල රේඛාවක් “බව අවබෝධ කරගනී.ඉන්පසු ඔහු කෙළින්ම ගඟ හරහා පිහිනීම අරඹයි.නමුත් තාඕවාදියා එරෙහි නොවීමේ බලය හෙවත් වූ වෙයි බලය යොදයි.දිය පහරට ඔහුව අල්ලා ගැනීමට ඉඩහරියි.බොහෝ වෙහෙස නොවෙමින් දෑත් හා දෙපය යොදා ගනිමින් එහා ඉවුරට ප්‍රබෝධමත් ලෙස ලඟා වෙයි.නමුත් කොන්ෆිසුසියස් සිසුවා මේ වන විටත් දිය සමඟ පොරබදමින් පසුවේ.මෙමගින් අපට නිගමනයකට එළඹීමට හැකිය.එනම් කිසිවක් බලෙන් ක්‍රියාත්මක කරවිය යුතු නොවේ.සියලුම දේවල් වලට එයට අන්න්‍ය ස්වභාවික ප්‍රවාහයක් හා රිද්මයක් ඇත.එම රිද්මයට අනුකූල නොවීම හානිකර වන අතර එයට එකඟ වීමෙන් සියල්ල පහසුවෙන් කරගත හැකිය.
ලෝකයේ වඩාත්ම දුෂ්කර දේවල් පහසුම ආකාරයෙන් ඉටු කරගත යුතුය,ලොව විශිෂ්ටතම දේවල් කුඩාම දේ හරහා ඉටු කරගත යුතුය.එමනිසා විශිෂ්ට පුද්ගලයන් විශිෂ්ට දේ ,කිරීමට උත්සාහ කරමින් නොසිටින අතර ඔවුන් ඒ දේවල් ඉටු කරයි.මෙහි ගැඹුරු අර්ථයක් ගැබ්ව ඇත.එනම් ඕනෑම අයෙක් ගැටලුවක් විශාල වීමට ඉඩ නොදෙන්නේ නම්,ඔහු හෝ ඇය විශිෂ්ටත්වය අත්කර ගෙන ඇති බුද්ධිමත් අයෙකු වේ යන්නයි.


දේශපාලනික තාඕ


දාර්ශනික තාඕවාදයට අනුකූල දේශපාලන කෙබඳුද යන්න යන ගැටලුව මෙහිදී ඔබට ඇති විය හැකිය.එය එසේමය . බලෙන් වෙර යොදා ලෝකය වෙනස් කරන්නට යාමෙන් ගැටලු ඇති වේ.මක් නිසාද එය ස්වභාවික ප්‍රවාහයට විරුද්ධ වන බැවිනි.
ලෝකය භාර ගැනීමට කැමති වන කිසිදු නායකයකු සාර්ථක නොවනු ඇත.ලෝකය පරිශුද්ධ යාත්‍රාවක් වන අතර එයට කිසිවෙක් කිසිවක් නොකළ යුතුය.කවුරුන් හෝ එය අවුල් කිරීමට,වෙනස් කිරීමට උත්සාහ කළහොත් එය විනාශ වනු ඇත.එය අල්ලා ගැනීමට කවුරුන් උත්සාහ කළත් එය නැති වී යයි.( tao the ching – 29)


පසුබැසීමට තාඕ


ශ්‍රේෂ්ඨ රටක් පහත් බිමක් මෙනි.එහිදී සියලු ධාරාවන් එකමුතු වේ. මහා රට පහත් තැනක් ගනී නම්එය කුඩා රට පරාජය කරනු ඇත.කුඩා රට පහත් තැන ගනී නම්එය මහා රට පරාජය කරනු ඇත.එවිට උපක්‍රමශීලීව පසු බැස(යටත් වී) පසුව ජය ලබා ගත යුතුය.(tho the ching – 61)


පාලන තන්ත්‍රයට තාඕ


රජය නොපෙනෙන විට ජනතාව සරල හා සතුටින් සිටිති.රජය සජීවී වන විට ජනතාව කපටි සහ අතෘප්තියට පත්ව සිටිති. ( tao the ching – 58) පරමාදර්ශී නායකයා කිසිවිටෙකත් ජනතාව කෙරෙහි නීති සම්පාදනය නොකරන අතර ආදර්ශයෙන් නායකත්වය ලබා දෙයි.තවද විශිෂ්ට පාලකයන් කිසිවිටෙකත් නිතරම ජනතාව ඇමතීම සිදු නොකරයි.ජනතාවට නොදැනෙන්නට පාලන කටයුතු සිදු කරයි.( tao the ching – 17 පරිච්ඡේදය)


යුද්ධයට එරෙහිව තාඕ


ඔබ තාඕව පිළිපදින්නේ නම් ලෝකය අභිබවා යාමට සන්නද්ධ බලය යෙදවීමට ඔබ විරුද්ධ වනු ඇත.ආයුධ භාවිතා කරන අයට විරුද්ධ වනු ඇත.භට පිරිස් කඳවුරු බැඳගෙන සිටින විට උල් පඳුරු පමණක් වර්ධනය වේ.විශාල හමුදාවක් පසුපස නරක අස්වැන්නක් ලැබේ.( වගාබිම් පාළු වෙයි)එයින් සිදු වන යහපතක් නැත.
(Tao the ching – 30)
ආයුධ යනු නපුරු දේවල් ය. ආයුධ යනු මෘදු මිනිසුන් සඳහා සුදුසු උපකරණ නොවේ;ඔවුන් ඒවා භාවිතා කරන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති විට පමණි. ඔවුන් සාමය අගය කරයි.ජයග්‍රහණයෙන් උදම් නොවේ.( tao the ching 31)


තාඕව හා ස්වාභාවිකත්වය


තාඕ ලෝකයේ පවතින විට කෙත්වල පොහොර යෙදීම සඳහා වේගවත් අශ්වයන් යොදා ගනී.එය නොදන්නා මායිම් දේශවල යුධ අශ්වයන් බෝ කරනු ලැබේ.එනම් කොයි දේත් ස්වභාවික භාවිතයට ගන්නා කල හොඳින් ක්‍රියා කරන නමුත් වෙනත් දෙයකට යොදාගත් විට පහසුවෙන් විනාස වී යනු ඇත.


මනුශ්‍යත්වයේ තාඕ


නිහතමානී බව තාඕ වෙහි ප්‍රධාන ලක්ෂණයක් වන අතර නිහතමානී බවේ ප්‍රධාන සංකේතය ජලය වේ.
” වතුර මෙන් විශිෂ්ට වීමට උත්සාහ කරන්න,එය දසදහසක් දෙනාට ප්‍රයෝජනවත් ය,කිසිවෙක් සමඟ වාද නොකරයි,එනිසා එය තාඕවට ඉතා ආසන්නය.”
එනම් සාමාන්‍ය මිනිස් නැඹුරුතාවන්ට පටහැනි ස්ථාන කරා වුවද ජලය ගමන් කරයි.මිනිසුන්ට අවශ්‍ය වන්නේ කඳු මුදුන් වල සිටීමට මිස පහත් බිම් වල සිටීමට නොවේ.නමුත් ජලය පහත් බිම්වල පවා රැඳෙමින් නිහතමානීව තාඕවට සමීප වේ.ලෝකයේ කිසිවක් ජලය මෙන් මෘදු හෝ දුර්වල නැත.නමුත් එය දැඩි හා ශක්තිමත් ලෙස පහර දෙන විට කිසිම දෙයකට එතරම් පහසුවෙන් ජයගත නොහැකිය.දුර්වලකම ශක්තිමත් බවෙන් ජයගත හැකිය.මෘදු බව දැඩි බවෙන් ජයගත හැකිය.( යින් යෑන් )
අහස දිගුය,පොළොව නොනැසී පවතියි.මන්ද එය තමන් වෙනුවෙන් නොපවතින බැවිනි.එමනිසා විශිෂ්ටයා පියවරක් ආපසු තැබුව ද සෑම විටම ඉදිරියෙන් පසුවෙයි.
කෘතඥතාව හා තාඕව
දසදහසක් දේවල් සියල්ලම තාඕවට ගරු කරන අතර එහි ගුණධර්මයට ගරු කරය තාඕව ගෞරවයට පාත්‍ර කර එහි ගුණවත්කමට ගරු කළ යුතු යැයි කිසි විටෙකත් නියම කර නැත.තාඕ සියල්ලටම ජීවය දෙයි,එහි ගුණවත්කම ඔවුන්ව පෝෂණය කරයි. අධිකාරිය,අයිතිය ඉල්ලා නොසිට ජීවිතය ලබා දීම,කෘතඥතාව ඉල්ලා නොසිට ප්‍රතිලාභ ලබා දීම,පාලනයකින් තොරව මඟ පෙන්වීම මෙහි සැඟවුණු ගුණධර්ම ලෙස හැඳින්වේ.(tao the ching – 51 )


කෝපය හා තාඕව


දක්ෂ රණශූරයෙක් අන් අයට වඩා ඉක්මන් වන්නේ නැත දක්ෂ සටන්කරුවෙක් කෝපය පෙන්වන්නේ නැත.දක්ෂ ජයග්‍රාහකයෙක් පළිගැනීමට උත්සාහ නොකරයි.මෙය තරඟ නොකිරීමේ ගුණාංගය ලෙස හැඳින්වේ.මෙය අන් අයගේ හැකියාවන් භාවිතා කිරීම ලෙස හැඳින්වේ.මෙය පුරාණ කාලයේ දී මෙන් ස්වර්ගය සමග එක්වීම ලෙස හැඳින්වේ.( tao the ching 68)
විශිෂ්ට සොල්දාදුවන් අතර කියමනක් තිබේ:මම ආරාධිතයා නොවී ආගන්තුකයා වීමට කැමැත්තෙමි.මම අඟලක් ඉදිරියට නොයන නමුත් අඩියක් පසුබැසීමට කැමැත්තෙමි.මෙය චලනය නොවී ගමන් කිරීම ලෙස හැඳින්වේ.එනම් පසුබැසීම ඉතා හොඳ උපායකි.(tao the ching – 69)


සත්‍ය හා තාඕ


අවංක වචන අලංකාර නැත,අලංකාර වචන අවංක නොවේ.හොඳ පුද්ගලයා තර්ක නොකරයි,තර්ක කරන පුද්ගලයා හොඳ නැත.එනම් සත්‍ය සෑමවිටම මිහිරි නොවේ යන්නයි
( tao the ching -81)


ජීවය හා තාඕව


උපතේදී ඔබ මෘදු හා මෘදුයි.මරණයේදී ඔබ දැඩි හා දැඩි ය.ජීවත්වන විට තණකොළ හා ගස් සිනිඳුයි.නමුත් ඒවා මිය ගිය විට විට වියලී යයි.මෘදු බව ජීවයේ ලක්ෂණයකි(tao the ching 76)


තාඕ දරුවා


ගුණධර්මයෙන් පිරුණු පුද්ගලයෙකු අලුත උපන් දරුවෙකු හා සමාන ය.සියුමැලි ය,මෘදුය. ශක්තියේ උච්චතම අවස්ථාව යොදන විට ඕනෑම දෙයක් එහි දිරාපත්වීමට ළඟා වේ.එනිසා අනවශ්‍ය ශක්ති හානිය වළක්වා ගැනීමෙන් දිගුකාලයක් දිවිගෙවිය හැකිය. ( tao the chinng – 55)


රැස් නොකිරීමේ තාඕ


කෑම බීම වලින්,ඇඳුම් වලින් විනෝද වන්න නමුත් ඔබට භාවිතා කළ හැකි ප්‍රමාණයට වඩා දේපළ තිබේ නම් කොල්ලකරුවන්ගේ අවධානය යොමු විය හැකිය. එනිසා වැඩියෙන් රැස් කිරීම අනතුරුය .(tao the ching 53)


තාඕව වූ කලී මේ වැනි ගැඹුරු ජීවන දෘෂ්ටියකි.එය කිරීමෙන් ප්‍රගුණ කල යුත්තක් මිස හිස තබා යා යුත්තක් නොවේ.එය වටහා ගන්නා තරමට ඔබට සුවෙන් දිවි ගෙවිය හැකිය.

මොනාලි දිව්‍යාංජලී

Visits2935
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!