මට මා හමුවන දින ඔබට මා හමු නොවනු ඇත…

නොසිතූ විරූ ලෙස පියඹා යන කාලයත්,ඊටම උචිත ලෙස පෙළගැසුනු සිද්ධීන් දාමයක් යනු ජීවිතය නම් ඒ තරම් නීරස තවත් යමක් තිබිය හැකිද??අප විසින් මෙතෙක් අවබෝධ කර නොගත් යාන්ත්‍රණයක වූ අරමුණු වෙනුවෙන් නොපිරිහෙළා කැපවන අප හා සර්කස් සංදර්ශනයක රඟන සතුන් අතර වෙනසක් තිබිය හැකිද ??නමුත් එය එසේමය..කවදා ,කෙලෙස ,කෙසේ නිර්මාණය වූවක්ද නොදන්නා යාන්ත්‍රණයක සර්වබලධාරින් ගේ හෝ තෘශ්නාවේ අවශ්‍යතාවයට මිනිසුන් ගැහැට විඳිමින් දිගුකල් ජීවත් වෙති…එම යාන්ත්‍රණයේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා අර්ධ කාලීනව පින් රැස් කරන්නාත් ,කිසිදා නොදුටු දෙවියකු ගේ සිත දිනා ගැනීමට ලකුණු රැස් කරන්නාත් විමුක්ති මාර්ගයේ අසමර්තයෙකු ලෙස සිතමි….
ඕනෑම ජීවියෙකුට සිදුවිය හැකි ඉහළම අසාධාරණය නම් ඔහුගේ හෝ ඇයගේ ජීවයේ අරමුණ නොදැන සිටීමයි ..එලෙසටම මෙලොව විශිෂ්ටතම සාර්ථකත්වය ලබන ලද්දේ තමා විශ්වාස කරන විමුක්තිය,එනම් මේ සියල්ලෙහිම අවසානය ලෙස තමාගේ අපේක්ෂිතය පැහැදිලිව හඳුනා ගත් පුද්ගලයා ය…
……………..
ඉදින්…මා ඔබෙන් විමසමි..ඔබ මේ වන විට එය හඳුනා ගෙන අවසන්ද ??? නිර්වාණය,ස්වර්ගය,සාමය,සැනසීම ,නිමාව…..කුමක් හෝ වේවා ඔබ එය හඳුනා ගෙන අවසන් ද ?? ඔබ එසේ හඳුනා ගෙන ඇත්නම් එකී අවසානය වෙනුවෙන් ඔබ මෙතෙක් කල කී දේ මොනවාද ?විමුක්තිය ලෙස මා විශ්වාස කරන්නේ සියල්ලෙහිම අවසානය කෙසේ විය යුතුද යන්නය..තවද එය,ඔබ ඔබට සිදුවිය යුතු යයි විශ්වාස කරන ඉහලම සාධාරණත්වය ය..එසේ නම් එකී සාධාරණත්වය වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවීමට තරම් එය නොවටින්නේද ??
එය එසේ නොවන්නේ නම් මිතුර ….ඒ ඔබ සොයන සැබෑ විමුක්තිය නොවේ..!!!!!
මක්නිසාද ඔබ ඔබගේ සැබෑ විමුක්තිය හඳුනාගත් දිනයේ මෙම නීරස දෛනික චාරිකාවට ඉඳුරාම තිත තබනු නිසැකය..සිද්ධාර්ථ වීරවරයෙකු වනුයේ සිය විමුක්තිය ප්‍රත්‍යක්ෂකොට පවතින රැල්ලකට විරුද්ධව කැරැල්ලක් ගසමින් තමන්ට හිමි විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගත් නිසා මිස අනුන්ගේ විමුක්ති මාර්ග කරපින්නා ගත් නිසා නොවේ…ජීවිතය කිසිදු දිනක සුඛාන්තයක් හෝ දුඛාන්තයක් වන්නේ නැත…මක් නිසාද සෑම අවසානයක්ම ආරම්භයකින් අවසාන වන බැවිනි..මිනිසෙකු ලෙස ලැබිය හැකි පරම විමුක්තිය අවසානය අවසාන කර දැමීමය..එවිට ආරම්භයත් එයින්ම විනාස වී යනු ඇත….
ඉදින් විමුක්තිකාමීනි…නොපමාව ඔබේ විමුක්තිය සපථ කරගන්න..!!!!!!!!


මොනාලි දිව්‍යාංජලී

Visits998
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!