නොනිදූ රැයක මතක සටහන .ඉතිහාසය කරා ගියෙමි ….

රාත්‍රිය නිසොල්මන්ය..හවස සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ශේෂව පවතින වැසි පොද එක දෙක පතිත වන හඬ පමණක් පවතියි..සිහින වල වෙලී දුරාතීතයට යමි..වසර සියයක්..ඊටත් පෙර අතීතයට..මහනුවර අන්ධකාර යුගයට…පාරුව ලෙස “ කන්ද උඩ ගින්දර”පොත මත හිඳ රුවල දියත් විය..ඉකි බිඳුම්,කඩු කිණිසි ගැටෙන හඬ හිස පුරා දෙදරුම් ගති..එතකුදු ඒ හඬවල් සුසුම් වැල් මහාවංසය අපිට නොකීයේය..එය තවදුරටත් ඔව්න්ගේ අයිතිය උදුරා ගනිමින් සිටියි…දීප වංශය ,ථූපවංශය,මහාවංස අප සතු වූවාට “ සිතුවිලි වංශය කියා මූලාශ්‍ර කෘතියක් අප සතුව නැත..( ජැක්සන් ඇන්තනී මහතා – කන්ද උඩ ගින්දර)එය කෙතරම් සැබෑවක් ද යන්න මේ රාත්‍රියේ පසක් කර ගත්තෙමි …
…………………………..
රාක්කවල දුහුවිලි තට්ටු පිරී ඇත…ඒ අතරින් පොතක් අතට ගත්තෙමි…රැජින ….සෑම අතින්ම බලසම්පන්න කාන්තාව…නමුත් එය එලෙසම අවසාන විය …අභිමානවත් මාලිගයකි..එදිනද පෙර මෙන්ම මාලිගයේ විලක්කු එලි ශෝභාමානව දැල්වෙන්නට ඇත..අනුලා බිසව මාලිගය තුල සියදිවි නසා ගෙන තිබිණි..මොහාන් රාජ් මඩවල ඇයගේ ගෙල සිඳ දමා තිබූ අතර කොළ පැහැති රුධිරය වැගිරෙමින් තිබිණි…මරා දැමූ නමුදු ඇයගේ චිත්ත සන්තානය තුළට සාර්ථක ලෙස ඔහු එබිකම් කළබව කිවමනාය…ඔහු අවම වශයෙන් හෝ සිතිවිලි වංශය ට දායක වී ඇත…
…………
රාත්‍රියේ තෙවන හෝරාව අතිශය සාමකාමි විය..වැසි පොද හඬ පවා සිහින වලට බාධා නොකරයි..මේ උත්කර්ෂවත් පරිසරය තරම් කවියක් රස විඳින්නට තවත් අවස්ථාවක් කොහිද ???එහි සටහන් කවිය ක් ඔබ වෙත ලියා සිටීමට අවසර !!!
මුල්ලකට වෙලා ජීවිතේ සතුට සතුටින්ම අත්හල..
චුල්ල සීවලී ගැන තිබුණාද මොකුත් ඉතිහාස පොත්වල…
ලීලාවතී ,අනුලා සෝමාද කුසුමාසන ..පලදා කිරුලු ඇතිබව රැයකට ..
නැතිනම් උදෑසනකට වැහිබර ..
ලියැවී තිබේ තැන තැන..පිරිමි රජවරු මැද..හීනි කොමා තිත් ලෙස..
ඒ තැන්වලත් හමු නොවෙයි වැඩිමනත්..සීවලී මඟහැරුනු ඉතිහාස පාඩම..
නිල්ගිරි සෑය පාමුල ..ලාහුගල මහ කැලේ පතුලක,
භූගත සෛල පතුරක..තිබුනේලු එහෙම රැජිනකගෙ වගතුග..

ඒ හැර කිසිත් කිසි තැන …කෙටී ඇති බවක් ගලක හෝ හදවතක..
නැත තවම හමුවී ගැහැනුන්ට ..කිරුළු හැරයන්න සිදුවූ කාරන..
…………….
මීලඟ හෝරාවේදී දුහුවිල්ලෙන් පිරුණු යමක් නෙත ගැටුණි..පැරණි චිත්‍ර කැටයම් පොතකි..ඇම්බැක්කේ ලී කැටයම් ,ලියවැල …ලියවැල අඳින ලද කලා කරුවෙකු ගේ හදවත වෙඬරු පිඩකටත් වඩා උණුසුම් වන්නට ඇත..එසේ නම් එම කලාකරුවා දැඩි කළු ගලකට ජීවය දුන්නේ කෙසේද,,ඒ ලියවැල් රටාව ඔහුගේ මනසේ කෙසේ කෙදිනක ජනිත වූවක් ද???
………….
වර්ෂ ,දින වකවානු කවදත් කොතනත් මතකයේ තබාගත යුතුය..ඉතිහාසය නමින් ඇති විෂයය සඳහා ඉහළ සාමාර්ථයක් ලැබිය හැක්කේ එමඟිනි ..නමුත් ඉතිහාසයේ නියම රසය විඳින්නන් එහි සිට කැළඹී හමන සුළඟේ ඇති සිතුවිලි මනා ලෙස අවබෝධ කරගත්තෝම පමණකි..අවශේෂ පිරිස් වලට හුදෙක් එය වර්ෂ සමූහයක් තුළ ගොනුකළ සිදුවීම් පෙළක් පමණකි..
කලෙකට ඉහත ඉතිහාසය හැදෑරීම විකාරරූපී දෙයක් ලෙස සිතී ඇත…ඉතිහාසය තුළ කිසිවක් සියල්ලන්ටම සර්ව සාධාරණ ලෙස සිදුවි නැත..එම අසාධාරණකම් වර්තමානය තෙක්ම බලපරාක්‍රමය විහිදයි…අප දන්නේ ඔවුන් අප වෙනුවෙන් ලියූ දේය..අපට කියූ දේය..එනයින් ඒවා හැදෑරීමේදී ලේඛකයන් ලිවීමට පාදක කරගත් හේතු සිත්හි දරාගෙන ඒවා පරිහරණය කල යුත්තේය..ලැබෙන තොරතුරු හා ඒමත් ගොඩනංවන උපකල්පන වඩාත් නිරවද්‍ය වනුයේ එවිටය..
you may write me down in the history…
With your bitter twisted lies..
You may trod me in very dirt..
But still…I rise..!!!
දැන් එළඹෙනුයේ රැයේ ගැඹුරුම හෝරාවයි..හෙට දින යලි පිබිදීමේ අරමුණින් නින්දට යා යුතුය.. මේ ගෙවුණු හෝරා කිහිපය සංක්ෂිප්ත ලෙස කඩදාසියක ගෙත්තම් කළෙමි…හරය අත්විඳීම ඔබ සතුය …

Visits340
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!